2023 ජනවාරි 01 වන ඉරිදා

අලුත් අවුරුද්දත් පරණ අවුරුද්ද වගේ නොවෙන්න...

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 57

අලුත් බලාපොරොත්තු සහිත නව වසරක් උදා වී තිබේ. 2023 වසර පසුකරන ලද අවුරුද්දට වඩා උද්දාමයට පත් විය හැකි එකකි. එහෙත් ළඟා කරගත යුතු, දිනාගැනීමට අවශ්‍ය ඉලක්කය සඳහා තවත් කැපවීමට සිදු වේ. අනපේක්ෂිත සිද්ධිවලින් බහුල ශ‍්‍රී ලාංකික ජන සමාජයට තරමක අස්වැසිල්ලක් නමුත් මෑත අතීතයේ අත්දැකීම් අනාගතයට පාඩමකි. ලෝකයේ රටවල් අතර තරගකාරී බව වැඩි විය හැකි අතර තාක්ෂණය සඳහා නැඹුරු වන වසරක් විය හැකි බව පෙනේ. අවස්ථා අත්පත් කරගත හැකි, එයින් අනාගත පරපුරට දියුණු සමාජ ව්‍යුහයක් ඇති කරන ක‍්‍රමෝත්පාදනය ඉමහත් වගකීමකි.

ශ‍්‍රී ලංකාවට නිදහස ලැබී දශක අටක කාලය පසු කරන්නේ මෙම වසරේදීය. ගත වූ අවරුදු අසූව එක පරම්පරාවකි. යටත් විජිතකරණයේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ස්වල්ප දෙනෙක් අප අතර සිටිති. යුගයෙන් යුගය ගමන් කර අවතීර්ණ වී ඇති සන්ධිස්ථානය, ඔවුන් සිහිපත් කරනු ඇත. යටගියාවේ ලක්ෂණ, එකල ඇවැතුම් පැවැතුම් ගැන සාක්ෂි ඉදිරිපත් කරන අතර අනාගතයේ ඇතිවන තත්ත්වයන් සමඟ සසඳන්නට උත්සාහ කරනු නිසැකය. අපගේ දරුවන්ට යහපත් රටක් ඇති කර දෙන්නට පුරවැසියන් වන අප සියලු දෙනා වෙහෙස විය යුතුය.

අන්ධකාරයෙන් ආලෝකයට

පසු කරන ලද අන්ධකාර යුගය අමතක කළ යුතු නැත. ආර්ථික, සමාජ කාරණාවලදී අත්පත් කරගත් ජය පරාජයන්හි තෘප්තිය හා වේදනාව අප අභිමුවෙහි ඇත. අන්ධකාරම මොහොත අවසන් වූ පසු අරුණාලෝකය නැගේ. ආලෝකය කරා ගමන් කරන සමාජයක් වශයෙන් අරුණාලෝකයක් වශයෙන් ඇතිවන වෙනස්කම් හඳුනාගත යුතුව ඇත. 

ජාත්‍යන්තරය තුළ පවතින වාතාවරණය සැහැල්ලු නැත. එක්සත් ජාතීන්ගේ වාර්තා දක්වන පරිදි රටවල් හැත්තෑවකට වැඩි ප‍්‍රමාණයක් ආර්ථික අර්බුදයක පසු වේ. එම රටවල් පුනරුදයක් අපේක්ෂාවෙන් ප‍්‍රතිසංස්කරණ කරගෙන යයි. මිලියන හත්සියයක පමණ ජන කොටසක් අන්ත දුගීභාවයෙහි පසුවන බව දැක්වේ. මෙයින් මිලියන අනූ හතක් පමණ කොවිඩ් වසංගත තත්ත්වයෙන් බැට කෑ පිරිසකි. දත්ත දක්වන පරිදි මිලියන සියයකට පමණ ඔවුන් නිරතව සිටි රුකියා අහිමි වී ඇත. මෙම අහිමිවීම නැවත සකස් කර ගැනීමට දශකයක් පමණ ගත විය හැක. කොවිඩ් පැතිරීම සම්බන්ධ තිබුණු මත බැහැර වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය අන්තරාදායක බවට පනවා තිබුණු අවවාද ඉවත් කරගෙන ඇත. සෑම රටක්ම පාහේ අධීක්ෂණය අඩු කර ඇති අතර වඩාත් සුපරීක්ෂාකාරීව සිටි මහජන චීනය පවා මෙම වසරේ සිට කොවිඩ් ආරක්ෂක විධිවිධානවලින් බැහැර වන බව නිවේදනය කර තිබේ. කොවිඩ් වෛරසය ඇති කරන ලද පීඩාව බලවත්ය. සමාජ දුරස්ථභාවය ශ‍්‍රම වියදම ඉහළ නැංවීය. සංචරණ සීමා සමඟ  ප‍්‍රවාහන ප‍්‍රශ්න මතු වූ අතර එහි පිරිවැය දෙගුණ තෙගුණ කළේය. සෞඛ්‍ය හා රක්ෂණ වියදම් අතිරේක බරක් විය. මේවා අවසානයේ දී පාරිභෝගිකයන් ගෙවන ලද වන්දියකි. 

සමාජ ලිහිල්කරණය සමඟ මෙම අතිරේක පිරිවැය එකවර අඩුවීමක් නොවේ. ක‍්‍රමානුකූලව ආර්ථිකයකට අවශෝෂණය විය යුතුව ඇත. නිෂ්පාදන සාධකවලට බලපා ඇති තත්ත්ව කළමනාකරණය විශේෂ අවධානයට යොමු වී තිබේ. කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ගැන සලකා බැලේ. තාක්ෂණය සඳහා ආයෝජනය කරන අතර එය මිල අඩුකර ගැනීමට අනුගමනය කරන පියවරකි. ජාත්‍යන්තර ප‍්‍රජාව මෙම උත්සාහය තුළ අඩු මිලට පාරිභෝගික නිෂ්පාදන සැපයීමෙන් ආර්ථික පුනර්ජීවනයක් අපේක්ෂා කරයි.

ඉක්මන් පියවර තුළින් සුබ ඵල

ගෝලීයකරණය තුළ ශ‍්‍රී ලංකාව කුඩා රටකි. එහෙත් තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකිය. අනෙක් රටවලට කලින් අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කළ යුතුය. ආර්ථිකය නැවත ඉල්පෙන අවස්ථාවේ දී ජාත්‍යන්තර ආයෝජකයෝ ධනය යොදවන ස්ථාන කෙරෙහි විමසිලිමත් වෙති. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන රට ගැන නරක ප‍්‍රතිරෑප ඇති කර ඇත. ණය අවදානම හා ආයෝජන අනාරක්ෂිතතාව ගැන දක්වයි. ආයෝජනය කිරීමේ දී අවදානමක් ගත යුතු අතර දීර්ඝ කාලීන දැක්මක් අනුව කටයුතු කෙරේ. වර්තමානයේ අනවධානයක පවතින රටක් වෙත පැමිණ ධනය යෙදවීමට තීරණය කිරීම පහසු නැති නමුත් ලෝකයේ සෑම සාර්ථක ව්‍යවසායකයකුම වඩාත් ප‍්‍රතිඵල ගැනීමේ දී වැඩිම අවදානමක් දරා ඇත. වියට්නාමය, මැලේසියාව, තායිලන්තය සහ ග‍්‍රීසිය වැනි රටවල ආයෝජන නිරීක්ෂණය කරන විට එය පැහැදිලිව පෙනේ. චීන ඇමෙරිකා සබඳතා දුරස් වන අතරවාරයේ චීනයෙන් නික්ම ගිය ඇතැම් ආයෝජන තියුණු අවදානම මැද අග්නිදිග ආසියානු රටවල් දිනාගෙන ඇත. ශ‍්‍රී ලංකාව මෙම ආකර්ශනීය විභවය තෝරා ගත යුතුව තිබේ.

මෙහිදී සලකා බැලිය යුතු වැදගත් කරුණු ගණනාවකි. රටට බදු ආදායම හා තරුණ පෙළට රුකියා අවස්ථා අරමුණු කරගෙන ආයෝජන කැඳවීම සුදුසුය. එහිදී කලාපයේ රටවල පවතින තරගකාරීත්වය සලකා බැලීම වටී. ආයෝජන කැඳවීමට ඇති පහසුව එහිදී වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ බදු අනුපාත සාපේක්ෂව ඉහළය. ශ‍්‍රමයට ගෙවිය යුතු තරම වැඩි බව පෙනේ. බලශක්ති පිරිවැය ඉහළ මට්ටමක පවතී. ආයෝජන ව්‍යාපෘති සඳහා බලාත්මක නීති හා අනුමැතිය ගැනීමේ ක‍්‍රියාවලිය තවත් සංකීර්ණ පැත්තකි. මේවා කෙරෙහි විශේෂ අවධානය යොමු කර සැලැස්මක් සකස් කිරීම අවශ්‍යය. පළාත් පාලන, පළාත් සභා හා ජාතික මට්ටම වශයෙන් ස්ථර තුනකින් පවතින අනුමත කර ගැනීමේ ක‍්‍රමවේද නිර්බාධී තැනකට කැඳවීම අවශ්‍යයෙන්ම සලකා බැලිය යුතු කරුණකි.

ඉන්දියානු ආයෝජන ශ‍්‍රී ලංකාවට වැදගත්ය. ජාත්‍යන්තර දර්ශක අනුව ලෝකයේ ප‍්‍රබල ආයෝජකයන්ගේ ලැයිස්තුවේ සිටින ඉන්දියානු සමාගම් ගණන සලකා බැලිය හැකිය. ඉතා ආසන්න රටක, සංස්කෘතික හා දේශපාලන සබඳතා අතර සමානකම් සහිත අවකාශය තුළ ඉන්දීය ආයෝජනවලට අවස්ථාවක් ඇත. ආයෝජන ගැන අවධානය යොමු කළ යුතු ඇයි? දැනට පවතින හිඟය පාලනය කිරීම සඳහා බැහැරින් ධනය රටට ලැබීම අවශ්‍යම කරුණකි. මුදල් මුද්‍රණය හෝ විදේශගතව සිටින ශ‍්‍රී ලාංකිකයන් එවන ධනය හෝ අපනයනවලින් පමණක් අනාගතය දිනාගත නොහැක. 

පාරිභෝගිකයන් ගැන අවධානය 

ශ‍්‍රී ලාංකික ජනතාව උද්ධමනය හා ජීවන වියදම සම්බන්ධ ගැටලුවක පසුවෙති. ආහාර මිල ගණන් ඉහළය. සංශෝධනය කරන ලද බදු මෙම වසරේ දී භාණ්ඩ හා සේවා වියදම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මුහුණපාන ගැටලුවක් විය හැක. ඍජු බදු පනවන විට එහි බලපෑම ආදායමක් ලැබෙන බදු ගෙවන ජන කොටස සඳහා විය හැක. එහෙත් ආනයන අපනයන බදු, ආයතනික බදු යනාදිය වැඩි කළ පසු ඒවා සමස්ත පාරිභෝගිකයන් වෙත පැටවේ. සාමාන්‍ය ජනතාවට හිරිහැරයකි. ප‍්‍රධාන පෙළේ ආයතන තමන්ට පැනවෙන අලුත් බදු සඳහා පිරිවැය කළමනාකරණයකට ගමන් නොකරන අතර පහසුම ක‍්‍රමය වන පාරිභෝගිකයන්ට පැවරීම තෝරාගනී.

පාරිභෝගිකයන් ගැන අවධානය යොමු කරන පාලකයන් තෝරාගත යුතු මාර්ගය පැහැදිලිය. උත්පාදනය නැංවිය යුතු අතර කාර්යක්ෂම ක‍්‍රම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. රජයේ ආදායම ගැන පමණක් නොව වියදම ද ලබන වසරේ දී පරීක්ෂාකාරී විය යුතු පැත්තකි. රජයේ වියදම පාලනය කළහොත් අයවැය පරතරය අඩු කරගත හැකි අතර බදු ආදායම වැඩිකර ගැනීමට හේතුවක් පැන නොනගී. අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල වියදම් නැවත වතාවක් සොයා බැලීම මෙම දුෂ්කර අවස්ථාවේ දී ගත යුතු පියවරකි. සෑම තීන්දුවකදීම පාරිභෝගිකයන්ගේ පැත්තෙන් තීරණ ගැනීම ලබන වසර සුබදායක කර ගැනීමේ කර්තව්‍යයේදී අත්‍යවශ්‍ය සාධකයක් බව සඳහන් කරන්නට අවශ්‍යය. ජීවත් කළ යුතු පුරවැසියන් වන අතර මහජනතාවගේ පැවැත්ම සාක්ෂාත් කිරීම ආණ්ඩුවක වගකීමකි. රට පුරා නොයෙක් තැන්වලින් නොයෙක් අංශවලින් ඇසෙන බරපතළ කාරණා පසෙකට කළ යුතු නැත. මහජන නියෝජිතයන් වශයෙන් සාධාරණ මැසිවිලි ගැන පරීක්ෂාකාරී විය යුතු අතර මැති ඇමැතිවරුන්ගේ හෝ ආණ්ඩුවේ මතය පමණක් විසුරුවා හැරීම යුක්ති සහගත නැත. දැනට පවතින වාතාවරණය අනුව මෙම වසරේ විශාල කැපවීමක් කරන්නට සිදු වේ. එම කැපවීම තුළ නිෂ්පාදනය නගා සිටුවන, ආයෝජන වැඩි කරන හා වියදම් අඩු කරන ක‍්‍රියාමාර්ග අවශ්‍ය කෙරේ. 

I සාරා කන්දෙගොඩ